Monday, December 5, 2016

පළමු පෙමක ‘සිහින‘ මතක... (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 10)


ඔකේ යනු දසවන වියට පා තැබූ, යොවුන් වියේ දොරටුව දෙසට පිය නගන දැරියකි. මුක්හ්සින් යනු සිය වැඩිමල් සොයුරා සහ නැන්දනිය සමග පාසැල් නිවාඩු සමය ගත කරන්නට ඔකේගේ ගම්මානයට පැමිණෙන දොළොස් වියැති පිරිමි ළමයෙකි. කොල්ලන් සමග උරෙනුර ගැටෙමින්, කෙල්ලන්ගේ ‘ළදරු‘ සෙල්ලම් පිළිකෙව් කරමින්, සෙල්ලමට වැටෙන ඔකේට හදිසියේම මුක්හ්සින් මුණගැසෙන්නේ පිට්ටනියේ දී ය. ඉතා ඉක්මණින් මිතුරු වන දෙදෙන, එකිනෙකාට නැතිවම බැරි, ගම්මානය පුරා ඇවිද යමින් බොහෝ දේ විමසා බලන, බයිසිකල් පදින්නට මෙන්ම සරුංගල් යවන්නට ද අනෙකා සොයා යන, අඹ යහළු මිතුදමකින් වෙලේ. ඒ මිතු දම, ළමා විය ඉක්මවමින් ගැටවර විය වෙත පා ඔසවත්ම එකිනෙකා කෙරෙහි ඇතිවන යෞවන ආදරයක මුල් සළකුණු බව වටහා ගන්නට ඔකේගේ හා මුක්හ්සින්ගේ වැඩිහිටියන්ට අපහසු වන්නේ නැත.

2006 වර්ෂයේදී නිපදවුණු ‘Mukhsin’ (මුක්හ්සින්) යනු, මැලේසියානු සිනමා කතුවරියක වූ යස්මින් අහමඩ්ගේ සිනමා නිර්මාණයකි. එය 57වන බර්ලින් සිනමා උළෙලේ දී ළමා අංශය වෙනුවෙන් විශේෂ ජූරි සඳහනක් ලබා ගත් අතර මැලේසියාවේ ප්‍ර‍දර්ශනය අරඹා දින 4ක් තුළ රින්ගිට් ලක්ෂ 7ක වාර්තාගත ආදායමක් සමගින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ශණයක් ද දිනා ගත්තේ ය. ඒ ඇගයුම් හා ආදායම් වාර්තා සියල්ල පසුපස වූයේ ඉතා සරල ලෙස නමුත් විචිත්‍ර‍ ලෙස, තිරය මත දිග හැරි, යෞවනත්වයට පා තබන අවදියේ හමුවන ප්‍රේමය සහ ඒ හා බැදෙමින් යස්මින් විසින් චිත්‍ර‍ණය කළ සමාජ විවරණය පිළිබඳව වූ ආසක්ත බවයි.   

බයිසිකලයේ ඉදිරිපස කොටසේ ඔකේ ද හිඳුවාගෙන ගම්මානය පුරා ඇය හා යන මුක්හ්සින් විටෙක ගස් නගින අයුරු ද, තවත් විටෙක ගම්මානයේ අනේක තොරතුරු ද ඇය වෙත කියා දෙයි. ඔකේ ඔහුට කියා දෙන්නේ සිය මවගේ යුරෝපීය අධ්‍යාපනය හේතුවෙන් ඇයට ඉතා සමීප ඉංග්‍රීසි භාෂාව සහ ඔහුට දුරස්ථ වෙනස් (බටහිර) සංස්කෘතියකි. ඇයටත් ඇගේ මව හා පියාටත් සමීප පාපන්දු තරග ඇතුළු තවත් දේ මුක්හ්සින්ගේ ද සමීප ඇසුරු අතරට එන්නේ ඔකේගේ මිතුරා ලෙස ඔහු ඒ මාපියන්ගේ ද ආදරය දිනාගන්නා හෙයිනි. ඒ හා සමගින් අසල්වැසියන්ගේද, ගම්වාසීන්ගේ ද සම්මතයන් මායිම් නොකරමින් නිදහස් කෙල්ලක ලෙස වැඩෙන්නට අවශ්‍ය පසුබිම ඔකේ වෙත සලසාදෙමින් යන නූතන මැලේ පවුලක් ලෙස ඔකේගේ පවුල කටයුතු කරන හෙයිනි.

යස්මින් අහමඩ් විසින්, සෙපෙට් හා ගුබ්රා නමින් නිපදවූ තවත් චිත්‍ර‍පට දෙකක අවසන් කෘතිය වූ ‘මුක්හ්සින්‘ තුන් ඈඳුතු සිනමා එකතුවක මැලේසියානු උදාහරණයයි. ඔකේගේ යොවුන් හා තරුණ අවදිය හා බැඳ‍ෙන මුල් කෘති, අවසන් කෘතිය සමගින් යළි හැරී ඇගේ ළමා කාලයට පැමිණේ. ඒ හා සමග තරුණ වයසේ වන ඔකේගේ මාපියන් ද සමග එක්ව එය මැලේසියානු සංස්කෘතිය වෙත ද විමසුම් බැල්මක් එල්ල කරයි.



එංගලන්ත අධ්‍යාපනයක් ලබා ඇති ඔකේගේ තරුණ මවත්, වෙනස්, නිදහස් පැවතුම් සහිත පියාත් පමණක් නොව ඔකේගේ නිවසේ මෙහෙකාරියත් සම්මතයන් මත පදනම් ව සමාජය විමසන හා වෙසෙන චරිතයෝ නොවෙති. සංගීතකාමී, ක්‍රීඩාකාමී ඔවුහු සාම්ප්‍ර‍දායික මැලේ වැසියන්ගේ විවේචනයට ද අවලාදයට ද ලක් වෙති. එසේ වුවත්, ඔකේගේ ජීවන පැවතුම් හරහා ඉදිරියට ගලන සිනමා කෘතිය නිදහස් හා නිවහල් චින්තනයක හා ජීවන සම්ප්‍ර‍දායක ඇති අරුමැති බව හා අනගි බව පිළිබඳ සංඥා සපයයි.

චිත්‍ර‍පටය ඇරඹෙන්නේ පාසැල් නිවාඩුව පිණිස පිටව යන ඔකේට එළඹෙන නිවාඩු සමය පිළිබඳ රචනාවක් ලියාගෙන එන්නැයි පන්තිභාර ගුරුවරයා කරන ඉල්ලීමකිනි. චිත්‍ර‍පටයේ අවසානයේ යළි පාසැල වෙත යන ඔකේට කෙළිදෙලෙන් පිරුණු නිවාඩු සමයක් ගැන ලියන්නට රසවත් කිසිවක් ඉතිරිව නැත. නිවාඩුව පුරා ඇය හා උන් මුක්හ්සින් සමග සුළු අඩදබරයක් කෙළවර උරණ වීම හේතුවෙන් ඔහු ගම්මානයෙන් පිටව යද්දී සමුගන්නටවත් ඇයට අවස්ථාව ලැබී නැත. සිනමා කෘතියේ කිසිදු රූපයක හමු නොවන, මුක්හ්සින් ඇය වෙත තිළිණ කළ සරුංගලයේ කෙළවරක ඔහු ඔකේ වෙත ලියා තැබූ, අපට අනුමාන කරන්නට සිනමාකාරිණිය ඉඩ සලස්වන, වැකිය සමගින් ඇය ජීවිතයේ තවත් ඉසව්වකට මුහුකුරා යමින් සිටී. ඔකේ ද රැගෙන පාසැල් බස්රථය යළි පාසැල් බිම වෙත එන්නේ ඒ ජීවන ඉසව් පිළිබඳ මහරු මතකයන් අපගේ ජීවන අතීතයෙන් ද යළි අවදි කර දෙමිනි.

- ප්‍රියන්ත ෆොන්සේකා - 

No comments:

Post a Comment